Wednesday, May 29, 2013

අප ගන්නා ගැජට් එන්නේ කොහේ සිටද? - 1 කොටස

ලාබයි - බාලයි කියන චීනයේ නිෂ්පාදිත උපාංග පිළිබඳ මිත්‍යාව

තාක්ෂණික උපාංගයක උණාත්මක තත්වය හා එහි ප්‍රමිතිය තීරණය කරන සාධක කීපයකි. ප්‍රමිතිය තීරණය කිරීමට අදාල උපාංගයේ නිමාව, ක්‍රියාකාරිත්වය හා භාවිතාවේ පහසුව ප්‍රධාන වශයෙන් සලකා බැලෙන අතර එහි මිල හා එහි නිෂ්පාදිත රට/ සමාගම පිළිබඳව සුලබව සලකා බලයි.

මුල් කාලින ජංගම දුරකතන මිලදී ගැනීමේදී යුරෝපා රටවල නිපදවන ලද දුරකතන සඳහා ඉහල ඉල්ලුමක් තිබුණු අතර එම නිෂ්පාදකයා විසින් චීනයේ වැනි ආසියානු රටක කර්මාන්ත ශාලාවක නිපදවන ලද ඒ දුරකතන මාදිලියම මිලට ගැනීමට බොහෝ අය මැලිකමක් දැක්වූහ. බොහෝ දෙනාගේ යටි සිතේ තැම්පත් වී ඇති "Made In China" භීතිකාව මෙයට හේතු වූ අතට වසර කීපයකට පෙර අඩු මිලට වෙළඳපොලට නිකුත් වූ අනුකාරක Chinese Phones හා වෙනත් තාක්ෂණික උපාංග නිසා මෙම බිය තව තවත් වර්ධනය වූ බව කිව යුතුය.


සැබැවින්ම වර්තමාන තාක්ෂණික උපාංග නිෂ්පාදකයන්ගෙන්, තමාගේ මෙවලම් තමාගේම කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන්නේ බොහොම සුළු පිරිසකි. 
බොහෝ සමාගම් තම තාක්ෂණික උපාංග නිෂ්පාදනය කිරීම තායිවාන හෝ චීන සමාගම් වලට කොන්ත්‍රාත් පදනම මත බාරදෙනු ලබන අතර මෙම සමාගම් වල කර්මාන්තශාලා බහුල වශයෙන් ඇත්තේ චීනයේහිය. එසේ කරනු ලබන සමාගම් මොනවාද යන්න කෙසේ වෙතත් එසේ කරන්නේ ඇයිද යන්න සොයා බැලීම වැදගත් වේ.

වසර 2000 වන තෙක් ඇපල් (Apple) සමාගම සිය පරිගණක නිෂ්පාදන කරනු ලැබුයේ ELK Grove නම් උතුරු කැලිෆෝනියානු නගරයකය. වර්තමානයේ එම ස්ථානයේ දක්නට ඇත්තේ කෝල් සෙන්ටර් එකක් සහ ගබඩාවකි. ඇපල් සමාගම සිය මැක්බුක් පරිගණක, iPad හා iPhone උපාංග සියල්ලම නිපදවන්නේ චීන හෝ තායිවාන නිපැයුම් කොන්ත්‍රාත් මාර්ගයෙනි.

සංඛ්‍යාලේඛන වලට අනුව ඇපල් සමාගම මසකට iPhone මිලියන 9ක් සහ iPad මිලියන 4.7 ක් අලෙවි කරයි. මෙය තනි සමාගමකට කිසිසේත් මසක් තුල කලහැකි නිෂ්පාදන පරිමාව නොවේ. එබැවින් එම නිෂ්පාදන කාර්යය අති විශාල චීන හා තායිවාන කර්මාන්තශාලා එකකට නොව ගණනාවකට ලබාදී ඇත. මේ නිසා අඩු ශ්‍රම වැ‍ටුප් දරමින් අතිවිශාල නිමැවුමක් ලබාගැනීමට ඇපල් සමාගමට හැකිවී තිබේ.



කෙසේ වුවද මේ චීන හා තායිවාන කර්මාන්තශාලා වලින් නිපදවන උපාංග වල ප්‍රමිතිය හා කල්පැවැත්ම පිලිබඳ ඇපල් සමාගම ඉතා දැඩි අවධානයෙන් සිටී. ඇපල් හි ඇමරිකානු සේවකයන් බොහෝ පිරිසක් මේ ආසියානු සමාගම් වල රඳවා ඇති අතර නිපදවෙන සෑම උපාංගයකම ප්‍රමිතිය පරික්ෂා කිරීම ඔවුන්ගේ රාජකාරියයි.

ඉතා කාර්යක්ෂම හා වේගවත්ව, අඩු මිලට තම උපාංග ආසියාවේ නිර්මාණය කරන්නට හැකිවුනත්, පරිගණක මාදිලි කිහිපයක නිෂ්පාදන කාර්යභාරය නැවත ඇමෙරිකාව තුලට ගෙන ඒමට ඇපල් සමාගම බලපොරොත්තුවෙන් සිටී.

ඇපල් වැනි දිගුකාලින දෘඩාංග නිර්මාණකරුවන් පමණක් නොව Microsoft, Google වැනි මෘදුකාංග නිෂ්පාදනකරුවන්ද දැන් දැන් පරිගණක දෘඩාංග නිෂ්පාදනයට එක්වීමට ආසියානු කර්මාන්තශාලා භාවිතා කරති.

Microsoft සමාගම බොහෝ කලක සිට සිය Xbox Gaming Console නිර්මාණය කිරීම වෙනත් සමාගමක් හරහා සිදු කරයි. නවතම Microsoft Surface Tablet මාදිලි නිපදවීම බාරදී ඇත්තේ Pegatron සමාගමටය. මෙම සමාගමට තමාට ඕන ලෙස උපාංග නිර්මාණය කරන්නට Microsoft සමාගම කොන්ත්‍රාත් ලබාදෙන අතර නිපදවීමෙන් අනතුරුව ඒවා Microsoft යන වෙළඳ නාමය යටතේ අලෙවි කෙරේ.

Google සමාගමේ Nexus Tablet හා Smart Phone නිෂ්පාදනය වන්නේ මීට වඩා වෙනස් විදියකටය. Google සමාගම අවශ්‍යතා සහ ප්‍රමිතිය ගැන උපදෙස් ලබාදෙන අතර එම නිෂ්පාදක සමාගම Google හා තම සමාගමේ නම ද සමග උපාංගය නිපදවයි. ඉන්පසු ඔවුන් තමන්ගේම බෙදාහැරීම් ජාලය හරහා මේ උපාංගය බෙදා හරිනු ලබයි. LG සමාගම මගින් නිපදවන Google Nexus 4 මෙයට නිදසුනකි..



කෙසේ වුවත් Microsoft හා Google යනු බෙදාහැරීම පිලිබඳ අත්දැකීම් අඩු සමාගම් දෙකකි. Surface Tablet  වල බෙදාහැරීම ඉතා අඩුපාඩු සහිතව සිදුවූ නිසා එහි මුල්කාලින අලෙවිය ඉතා දුබල විය. Google Nexus 4 වලට ඇතිවිය හැකි වෙලදපොල ඉල්ලුම අවතක්සේරු කල බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට සමාගම අපොහොසත් විය.

මෙලෙස ලොව මුල් පෙල සමාගම් අඩු මුදලකින් වැඩි කාර්යක්ෂමතාවයෙන් භාණ්ඩ නිපදවා ගැනීමට නැගෙනහිර දිග ආසියානු සමාගම් සමග කොන්ත්‍රාත් ගිවිසුම් වලට එලඹීම නිසා නැගෙනහිර දිග ආසියා කලාපය තුල අති විශාල තාක්ෂණික නවෝදයක් ඇතිවී තිබේ. එසේම කොන්ත්‍රාත් සමාගම් ක්‍රම ක්‍රමයෙන් විශාලනය වීම නිසා ඔවුන් ක්‍රමයෙන් කර්මාන්ත දැවැන්තයන් බවට පත් වේ.


කෙසේ වුනත් මේ සමාගම් සේවකයන්ගේ වැ‍ටුප් හා රාජකාරි කාලය ගැන සලකා බලන්නේ ඉතා අඩුවෙනි. ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගම වන Hon Tai Precision Industry (Foxconn) විසින් ලොව සියලු ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් 40%ක් තනිවම නිපදවනු ලබයි. මෙය සතුව කර්මාන්තශාලා බොහොමයක් ඇති අතර ඒවායේ ප්‍රමාණය කුඩා නගර තරම් වේ. ෆොක්ස්කෝන් සමාගම විසින් iPhone, Xbox, Amazon Kindle යන ඉලෙක්ට්‍රොනික් උපාංග වලට අමතරව Intel Motherboards, Acer & Nokia Motherboards  නිපදවනු ලබයි.

කෙසේ වුනත් ෆොක්ස්කෝන්  සමාගම යනු ලොව ඇති අපකීර්තිමත්ම සමාගමකි. එහි සේවකයන් සඳහා ගෙවන ඉතා අඩු වැ‍ටුප්, ඔවුන්ගෙන් ලබාගන්න ඉතා වැඩි වැඩ ප්‍රමාණය හා ඉතා නින්දිත ලෙස වැරදි වලට දඬුවම් දීම මෙයට හේත්වයි. වරක් 2010 දී එම සමාගමේ සේවකයන් විශාල පිරිසක් දිවිනසා ගත්තද, ඔවුන්ගේ නොමනා ක්‍රියාකාරිත්වය හා අමානුෂික පාලන ක්‍රමවේද මදකින් වත් වෙනස් නොවීය.

ෆොක්ස්කෝන්  හැරුණු විට Quantana Computer, Compal යන සමාගම් ලොව විශාලතම නෙට්බුක් පරිගණක නිෂ්පාදන සමාගම් වේ. Asus සමාගමෙන් බිඳී ගිය පෙගට්‍රන් සමාගම Microsoft Surface, Apple iPad & MacBook Air පරිගණක නිපදවයි.


මෙම කොන්ත්‍රාත් සමාගම් දිගුකාලිනව යුරෝපා හා ඇමෙරිකානු නිෂ්පාදකයින්ගේ අධි-තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීමේ හිතකර ප්‍රතිපලය නම්, එම අධි-තාක්ෂණික දැනුම මෙම සමාගම් වලට ලැබීමයි. නෙදර්ලන්තයේ ‍ෆිලිප්ස් සමාගම මුල්කාලිනව සිය රූපවාහිනි නිපදවූයේ හොංකොං හි ඇති TVP Technology සමාගමෙනි. පසුකාලිනව ‍ෆිලිප්ස් සමාගම මේ වෙලඳපොලෙන් ඉවත් වීමට තීරණය කලේය. නමුත් TVP සමාගම, ‍ෆිලිප්ස් වෙලඳ නාමය සිය රූපවාහිනි හා මොනිටර වලට යෙදීමට ‍ෆිලිප්ස් මව් සමාගම මුදල් ගෙවීමේ ගිවිසුමකට ආහ. වර්තමානයේ සියලුම ‍ෆිලිප්ස් රූපවාහිනි හා මොනිටර් නිර්මාණය කරන්නේ, නිපදවන්නේ හා බෙදාහරින්නේ හොංකොං හි ඇති TVP සමාගම වුනත් පාරිභෝගිකයා එය ‍ෆිලිප්ස් වෙලද නාමය නිසා අභිරුචියෙන් මිලට ගනී..


4 comments:

  1. ithama watina wadagath lipiyak. thanx.. digatama liyanna me lipi pela.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...