Thursday, May 30, 2013

අප ගන්නා ගැජට් එන්නේ කොහේ සිටද? 2 වන කොටස

මේ ඉතිරි කොටසයි. මුල් කොටස බැලුවේ නැතිනම් මෙතනින් යන්න..

සැම්සුන් හි සේවකයන්ගේ තත්වය සලකා බලන විට ඔව්න් ෆොක්ස්කෝන් සමාගමේ සේවකයන්ගේ පඩිය මෙන් පස් ගුණයක් ලබන බව වාර්තා වේ. මේ නිසා සැම්සුන් දුරකතන වල මිල ඉහල යාම නිරායාසයෙන් ම සිදු වේ. එබැවින් ඔවුන් දුරකතන සහ ටැබ්ලට් වල පිටත ආවරණය ආදිය ඉතා ලාබ ප්ලාස්ටික් වලින් නිපදවයි. ඇපල් සිය උපාංග සඳහා ඉතා මිල අධික ලෝහ ආවරණ යෙදීමට හැකියාව ලැබී ඇත්තේ ෆොක්ස්කෝන් සමාගම එම උපාංග වලින් ලබන පාඩුව සේවකයන් හරහා සමබර කරගන්නා නිසාය.





දෙවන විශාලතම කොරියානු ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයා වන LG සමාගමද තම උපාංග තමාම නිෂ්පාදනය කිරීමේ නියැලී සිටී. ලොව විශාලතම තිර (Display) නිපදවන්නා ලෙස සැම්සුන් සමාගම ද අභිබවා යාමට LG සමත් වී ඇත. (Ex: LG 84" Ultra HD TV) නමුත් LG සමාගම සිය ප්‍රොසෙසර් හා මෙමරි චිප් තෙවන පාර්ශවයකින් මිලට ගනී.

තායිවාන HTC සමාගමද LG හා සමාන නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරයි. මුල් කාලිනව වෙනත් සමාගම් විසින් කොන්ත්‍රාත් පදනම මත නිපදවන ලද HTC සමාගම පසුකාලිනව තමාගේම වෙලඳ නාමය යටතේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිපදවීම ඇරඹූ අතර ලොව ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනය වගේම Google Nexus One නිපදවූයේද මෙම සමාගම විසිනි.

මේ කිසිදු සමාගමක් තමාගේ උපාංග තමාම නිපදවන බව කියා සිටියද, තාක්ෂණික උපාංග වල නැතිවම බැරි මූලික උපාංග ඔවුන් පිටතින් ලබාගනී.


Apple, HP, Dell යන කුමන සමාගම පරිගණක නිපදවූවද ඔවුන් ප්‍රොසෙසර් ලබාගත යුත්තේ Intel, AMD යන සමාගම් වලින් එකකිනි. ඒ මක් නිසාද යත්, ප්‍රොසෙසරයක් මුල සිට සැලසුම් කර නිපදවීමට වසර ගණනාවක් හා අධික වියදමක් එහි පර්යේෂණ සඳහා අවශ්‍ය වේ.

සියලු ස්මාර්ට් දුරකතන වලට යොදාගන්නා ARM ප්‍රොසෙසර සංකල්පය බ්‍රිතාන්‍ය ARM සමාගම සත්වන අතර ARM ප්‍රොසෙසර් නිපදවීමට අවසර ඇත්තේ සමාගම් කිහිපයකට පමණි. Qualcomm, FreeScale, Nvidia යනාදී සමාගම් මගින් නිපදවන මෙම ප්‍රොසෙසර් ලබා ගැනීමට ලොව පුරා දුරකතන නිෂ්පාදකයෝ පෙළඹී සිටී. සරලව කිවහොත් කිසියම් සමාගමක් ARM වර්ගයේ චිපයක් නිපදවා අලෙවි කරයි නම් එයින් කොටසක් ARM සමාගමට ගෙවිය යුතුය.


ලොව හාඩ් ඩිස්ක නිෂ්පාදකයන් වර්තමානයේ සිටින්නේ Seagate, Toshiba, Western Digital යන තුන් දෙනා පමණි. ‍රැම් පවා නිපදවන්නේ ලොව සමාගම් අතලොස්සක් පමණි.

අවසාන පරිභෝජනයට භාණ්ඩ මිලට ගන්නා පාරිභෝගිකයා මේ කිසිත් නොදනී. ඔහුගේ ඉලෙක්ට්‍රොනික් උපාංගය ඉහලම ගුණාංග සහිතව, හොඳින් ක්‍රියාකරයි නම් හා කල් පවතින්නේ නම් පාරිභෝගිකයා තම උපාංගයේ සුලමුල විමසන්නේ නැත. සරල වශයෙන් කීවොත් පාරිභෝගිකයා ගිලී සිටින්නේ සැබෑ මායාවකය.

පොදුවේ ගත්කල මතුවන සත්‍ය තරමක් රිදුම් දෙන සුලුය. කුමන නිෂ්පාදකයා වුනත් උත්සහ කරන්නේ තම උපාංග හැකිතාක් අඩු මිලට වෙලඳපොලට නිකුත් කිරීමටයි. මේ සඳහා වියදම අඩු කරන්නේ උපාංගයේ බාහිර ආවරණයෙන්ද නැත්නම් සේවකයන්ගේ පඩියෙන්ද යන්න තීරණය කරන්නේ නිෂ්පාදකයා ය.

යුරෝපා සමාගම් නිපදවන භාණ්ඩ වලට වඩා තායිවාන, කොරියානු හා චීන උපාංග තත්වයෙන් බාල යැයි මායාවේ වෙලී සිටි කාලය හමාර කල යුතුය. ලොව සියලුම ජනප්‍රිය හා ප්‍රබල සමාගම් වල සම්පූර්ණ නිෂ්පාදනය සිදු කරන්නේ නැගෙනහිර ආසියාවේ දහඩිය කඳුලු යට කරගෙන නැගී සිටින අති විශාල කර්මාන්ත සමාගම් මගිනි.

මේ සමාගම් සිය නිෂ්පාදන නිපදවීමේ වගකීම නොදියුණු රටක ඇති දියුණු තාක්ෂණික උපාංග නුහුරට භාවිතා කරනු ලබන කර්මාන්තශාලා වලට ලබාදෙන සෑම විටම සැලකිය යුතු අවදානමක් දරනු ලබයි. එබැවින් ලෝ සුපතල හා මුල් පෙලේ සමාගම් වල නැගීම හා බැසීම මෙම ආසියානු කොන්ත්‍රාත් සමාගම් සතු යැයි කීම නිවැරදිය.

පාරිභෝගිකයා හැමවිටම තමා ගෙවන මිලට සරිලන නිමැවුමක් ලැබෙන තාක් තෘප්තිමත් ය. එබැවින් චීනයේ සිට එන සියලුම දේ නරක යැයි සිතීමට පෙර අප දෙවතාවක් සිතිය යුතුය. සමහර විටෙක ඔබ චීන වෙලඳපොලකින් මිලට ගන්නා අඩු මිල කුඩා මෙවලමක්, සුපතල නිෂ්පාදකයෙකු විසින් නිපදවන අධි මිල මෙවලමක ක්‍රියාකරිත්වය හා ගුණත්වයෙන් සපිරීමට ඉඩ ඇත්තේ ඒ නිසාය. තීරණය ඔබෙ අතේය.. 


මෙවන් වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.. 

2 comments:

  1. oya wage factory ekak lankawatath ganna beri wewida?

    ReplyDelete
  2. he he.. e wunata ee company wala workers lagen weda ganna hati danagattoth epa wei.. :D

    ReplyDelete

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...